VOC වෙළඳ සමාගම.

                                       


 1658 දී පෘතුගීසින් පළවා හැර ලංකාවේ මුහුදු බඩ පළාත් ලන්දේසින් (වර්තමාන නෙදර්ලන්තය) විසින් අත්පත් කර ගන්නා ලදී. එකල ඕලන්ද (ලන්දේසි) රජය නියෝජනය කළේ පෙරදිග වෙළඳ කටයුතු සඳහා පිහිටුවන ලද වරලත් වෙළඳ සමාගමක් විසිනි. එහි නම ලන්දේසි බසින් උසුරුවනු ලැබු වේිෆෙරිනිජ් ඕස්ට්ඉන්ඩිෂ කොම්පඤ්ඤෙ’ (Vereenigde Oost-Indische Compagnie) යනුවෙනි. එහි අරුත එක්සත් පෙරදිග ඉන්දියානු ඕලන්ද සමාගම’ විය. ඒ ලන්දේසි පදවල මුල් අකුරු තුන එක් වීමෙන් VOC යන්න සැදිණ. එය එම කාලයේදී ඕලන්ද රාජ්‍ය මුද්‍රාව ලෙස භාවිත කරන ලදී. මෙය විශේෂයෙන් භාවිත කෙරුණේ එකල භාවිත වූ කාසිවල ය.


1683 දි පෙරදිග ඉන්දියානු ඕලන්ද සමාගමේ ඇඩම් වැස්ටර් වෝල්ඞ් හා මහනුවර රාජසිංහ රජු අතර ඇති වූ ගිවිසුමේ14 වන වගන්තියේ මුදල් අච්චු ගැසීම ගැන ද සඳහන් වී ඇත. සිංහල රජතුමා විසින් හෝ ඕලන්ද ආණ්ඩුව විසින් හෝ පත් නොකළ මොනයම් අයකුටවත් කාසි අච්චු ගැසීමට, සෑදීමට, ප‍්‍රචාරය කිරීමට බලයක් නැති බව එයින් කියැවිණ.

ඕලන්ද යුගයේ මුල් කාලයේ දී ලංකාවේ භාවිත වූයේ ඊට පෙර පාලන බලය හිමි කරගෙන සිටි පෘතුගිසීන් විසින් නිකුත් කරන ලද කාසි වර්ග වේ. ඒවා වෙනත් රජයක් විසින් නිකුත් කරන ලද මුදල් නිසා හොර කාසි අච්චු ගැසීම ශීඝ‍්‍රයෙන් වැඩි විය. මෙයට පිළියමක් හැටියට ලන්දේසින් විසින් සියලූම පෘතුගීසි කාසි එකතු කරගෙන ඒ වෙනුවට VOC මුද්‍රාව සහිත කාසි නිකුත් කරන ලදී. මෙම මුද්‍රාව නැති කාසි කිසිවක් පිළිගැනීම තහනම් කරන ආඥාවක් ද නිකුත් කෙරිණ. එහෙත් හොර කාසි අච්චු ගැසීම එතකින් ද නොනැවතුණි. VOC මුද්‍රාව යටතේ ද හොර කාසි ශීඝ‍්‍ර ලෙස පැතිරෙන්නට විය. 1693 දී රජයේ කාසි සහ හොර කාසි වෙන්කර හඳුනා ගැනීම සඳහා ඉන්දියාවෙන් රාජකීය කාසි අච්චු ගසන්නන් ද ගෙන්වූ බව වාර්තාවල සඳහන් වේ.


Comments